Sunday, September 28, 2014

නික්ම යමි මම . . . . .

සීතලම කඳුළක
උණුහුම්ම කේන්ද්‍රයෙන් පුරවාගත් තීන්ත වලින් ලියමි
අතීතයට ආදරයෙන්
මා නික්මෙන බැව්
නොකියාම යන්නට බැරි නිසාවෙන්
ජීවිතය කුරුටු ගෑ පෑන් තුඩු වලට අද
තුවාල වී ඇති නිසාවෙන්
මා ලියූ කවියද එළිවැටෙන් පැන ගිය නිසාවෙන්
ලියමි මම
හදවත තවමින් මාගේ අවසන් අකුරු කිහිපය
අතීතයට ආදරයෙන් මේ ලෙස
නික්ම යමි මම . . . . .

Thursday, September 25, 2014

ගහටත් සීතල දැනෙනවා

වැස්ස

අළු පාට වටපිටාවකට පොද ගහන වෙලාවට
සීතලෙන් තෙමි තෙමී දුවගෙන ඇවිත්
ගහක් යට හරි නවතිනව
ඒ වහින වැස්සෙන් නොතෙමි ඉන්න

එතනදි වැස්ස පවා
ඒ ගහෙන් වැටුණු මල් පෙති වලට පාට වෙලා හරි ලස්සනට පේනව
ඒ ගහ යට කොයිතරම් සහනයක්ද කියල දැනෙනව

ටික වෙලාවකින්

වැස්ස පායල වටපිටාව ආයෙත් තිබුනු අතට හැරෙනව
ටිකක් සීතල තිබුනත් දැන් තෙමෙන්නෙ නෑ
ඉතින්
අර නැවතුනු අය ඒ ගහ අතෑරල
එයාල එයාලගෙ ගමන යනව

ඒත් ඒ අයට නොහිතුනාදෝ නොහැඟුනාදෝ
ඒ අයට වාගෙම
මේ ගහටත් සීතල දැනුන

ඒත් මේ ගහ ළඟ

තාම කවුරුත්
වැස්සෙන් පස්සෙ නම් නැවතුනේ නෑ . . . .

Monday, June 16, 2014

නිදහසක්

මැරුණු කුරුල්ලන්ගේ ආත්මයන්
පියාසර කරයි තවමත්
මුළු අහසම සිසාරා
පෙරටත් වඩා ඉහළින් . . . .

Friday, June 6, 2014

හෝන්තුව

බස් එකේ කෙල්ලකි වාඩිවී
දුහුල් වරළස සිහින් සිරුරැති
රාග නෙත් කිරණ දුටු දුටුන් මත් කරන
හිනාවකි ඈ මවන සැමගෙ මන කලතවන

ඈ හිඳින බස් පුටුව ඉතිර කොටසත් හිස්ය
ඒ අඩුව පුරවන්න හිතන උන් අපමණය
හැකිවිනම් නැගිටලා තමන් හිඳිනා තැනින්
ඒ මොහොත බසය තුල
කොල්ලො ලොවි ගහෙත් නැත

ඔහොම යන අතරමග ඒ අඩුව පුරවන්න
නැග ඇවිත් වාඩිගති
බොහෝ වියපත් කෙසඟ සිරුරැති මැහැල්ලක්

එතැන් සිට අර කෙල්ල
සිනා නැත බුම්ම්ගති හරිම අකමැත්තෙන්
"මේ මොන හෝන්තුවක්දැයි"
මුමුණමින් වාගේ හිතයටින්

කිසිත් මේ නොමදත් නොමතැකූ නොවැදගත්
අර මැහැල්ල
බණ පොතක් කියවයි නිවී සැනසිල්ලේ . . . .